Search This Blog

Monday, August 10, 2015

දේශපාලනය යනු මඩ ගොහොරුවක් නොවිය යුතුය.








සිතන්න

දේශපාලනය යනු මඩ ගොහොරුවක් නොවිය යුතුය. එහෙත් අපේ ලාංකික දේශපාලනය යනු මඩ ගොහොරුවකි...! එයට හේතුව දේශපාලකයින්ගේ හා චන්ද දායකයින්ගේ වැරදි වේ . ලාංකික අප බහුතරය අශිෂ්ට මිනිසුන් වීම මෙයට හේතුව ලෙස මම දකිමි....!

දේශපාලනයේදී කතා කළ යුත්තේ ප්‍රතිපත්ති වූවද අපේ බහුතරය කතා කරනුයේ කාපු බීපු දෑ, අඳින පළඳින දෑ සහ කා එක්ක කවුරු නිදා ගත්තාද වැනි වැඩකට නැති පලහිලව් වේ. මෙයින් වන සංවාදයක් නොමැත. මෙයින් වන්නේ ප්‍රතිපාක්ෂිකයින් හට මඩ ගැසීමයි. මෙය සියළුම පාක්ෂිකයින් එක සේ කරනු දැකීම කණගාටුවට කරුණකි.



දියුණු දේශපාලනය නම් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශණය විග්‍රහ කිරීමත් ප්‍රතිවිරුද්ධ පාක්ෂිකයින්ගේ දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශණය අභියෝගයට ලක් කිරීමත් වේ. එහෙත් අපේ මිනිසුන් කරනුයේ කුමක්ද?

ඔවුන් කරනුයේ ටෝයියන්, බයියන්, ජෙප්පන්, ලෙස තම තමන් බෙදී අවලාද නගා ගැනීම පමණකි. සමහර මිනිසුන් ප්‍රතිපාක්ෂිකයින් හට වහලුන් , ප්‍රවේනි වහලුන්, ගෝත්‍රිකයින් කියා අපහාස කරනු දැකීමද මෙහි සුලභය. එහෙත් එසේ අපහාස කරන විට තමන් අයත් වන්නේද එවන් කාණ්ඩයකට යන්න ඔවුන් නොදනී...! ප්‍රතිපාක්ෂිකයින් හට අවලාද නැගීමෙන් හෝ , අපහාස කිරීමෙන්, චරිත ඝාතන කිරීමෙන් වන දේශපාලනයක් නොමැත. එය කිසිවිටෙක ශිෂ්ට සංවාදයක් නොවේ. මේ සරල සත්‍ය අප සම තේරුම් ගන්නේ කවදාද යන්න ගැටලුවකි. දේශපාලකයින් සහ ඔවුන්ගේ හැසිරීම් පතුරු ගසන අප , අපගේම ක්‍රියාවන් කෙරෙහි සිතා බැලුවොත් හොඳයි කියා මට සිතෙයි. එහෙත් බහුතර අපට එවන් ස්වයං විවේචනයක් නොමැත. ඇත්තේ අනෙකාට අපහාස කිරීමේ, හෙලා දැකීමේ, අගෞරව කිරීමේ මානසිකත්වයකි.

අප කවුරුත් ගරුත්වයට කැමති මිනිසුන් බැව් අපටම අමතක වීම කණගාටුවට කරුණකි. මුග්ධයින් මෙන් හැසිරීමෙන් වන දේශපාලනයක් හෝ සෙතක් නොමැත. වන්නේ පුද්ගල සහ සමාජ පිරිහීමයි. ඒ පිරිහීමට අප දායක වනවාද යන්න අප සිතා බැලිය යුතු කරුණකි.